2020 මාර්තු 07 වන සෙනසුරාදා

දෙකට කැඩී ඡන්දෙ කරන එජාපය

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 49

මෙරට පාර්ලිමේන්තුවේ වසර හතර හමාරක නිල කාලය මේ වනවිට අවසන් වී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට හිමි බලතල අනුව වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය මාර්තු 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක බලය ලබාගැනීම සඳහා පැවති ආණ්ඩුව යම් ආකාරයක සංවාදයක් රට තුළ ආරම්භ කර ඇතත් විපක්ෂයේ ප්‍රධාන බලවේග තවමත් නිසි ලෙස මැතිවරණ කටයුතුවලට පණ පොවා නොමැත.

එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන සමගි ජන බලවේගය මේ වනවිටත් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට සුදුසු ලකුණ සම්බන්ධයෙන් අවසන් නිගමනයකට පැමිණ නැත. සමගි ජන බලවේගයේ ලකුණ ලෙස ඔවුන් බලාපොරොත්තු තබාගෙන සිටි හදවත මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිය කොමිසම විසින් පිළිගත් ලැයිස්තුවේ නොමැති ලකුණක් බවට පසුගියදා ප්‍රකාශයට පත්කර තිබිණි. එමෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට අයත් හංසයා ලකුණ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය කටයුතු කිරීමට සැරසුණද මැතිවරණ කොමිසම විසින් අන් පක්ෂයක ලකුණ වෙනත් පක්ෂයක් වෙත ලබාගැනීම පිළිබඳ දක්වා ඇති නීතිමය පසුබිම හරහා හංසයා ලකුණ යටතේ එළැඹෙන මහ මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් මතුවී ඇත.

හංසයා පිළිබඳ මතුවී ඇති මෙම නීතිමය පසුබිම තුළ එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පිරිසක් සමගි ජල බලවේගය අලියා ලකුණ මගින් මැතිවරණයට මුහුණදිය යුතු බව ප්‍රකාශ කර ඇති නමුත් සජිත් පිල ඊට විරුද්ධය. එවැනි තත්ත්වයක් තුළ මැතිවරණයට ඉදිරිපත් වන ලකුණු පිළිබඳව සන්ධානය තුළ මෙන්ම එජාපය තුළද මතගැටුම් තිබේ. සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන පිරිසක් පෙන්වාදෙන කරුණු අනුව පැහැදිලි වන්නේ හංසයා ලකුණ ලබාගැනීමට නොහැකි වුවහොත් වෙනත් ලකුණක් යටතේ ඉදිරි මහ මැතිවරණයට මුහුණ දීමට ඔවුන් සූදානම් බවයි. කෙසේ වෙතත් සමගි ජන බලවේගය තුළ වැඩි බලයක් එජාපයට හිමිවන බැවින් අලියා ලකුණ යටතේ මැතිවරණයට මුහුණදීමට තිබෙන අවස්ථාව අත හැරීමට එජාපය සූදානම් නැත.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරය වෙනස් කර සමගි ජනබලවේගයේ සලකුණ ලෙස දුරකථනය භාවිත කිරීමට කටයුතු කරන්නේ නම් මහ මැතිවරණයට සහයෝගය ලබාදෙන බව සජිත් පාර්ශ්වය විසින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය 03 වැනිදා දැනුම් දී තිබිණි. සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන බවයි.

සමගි ජනබලවේගයේ ලකුණ සම්බන්ධයෙන් රනිල් පාර්ශ්වය සහ සජිත් පාර්ශ්වය අතර මතුව ඇති අර්බුදය විසඳා ගැනීමට මංගල සමරවීර හා මලික් සමරවික්‍රම යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සහ සජිත් ප්‍රේමදාස මහතා සමඟ වෙන වෙනම සාකච්ඡා පවත්වා ඇතත් එම සාකච්ඡාවලට ද නිසි විසඳුමක් ලැබී නැත. පවත්නා නීතිමය තත්ත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයට සමගි ජන බලවේගය යටතේ එක්විය නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසා ඇතත් එජාපය තනිව මහ මැතිවරණයට තරග කළහොත් එය එජාපයට දැඩි අවාසියක් වනු ඇති බව ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පෙන්වා දී තිබිණි.

පසුගිය 4 වැනිදා රුස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ පදනම ආරක්ෂා කර ගනිමින් සමගි ජල බලවේගය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කර ඇති අතර ඊට කැමැත්ත, අකැමැත්ත පිළිබඳ සමගි ජන බලවේගය ප්‍රකාශ කර නොතිබූ බව දේශපාලන ආරංචි මාර්ග පැවසීය. එමෙන්ම එළැඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ යටතේ තරග කිරීමට ගත් තීන්දුව පිළිබඳ වෙනසක් කිරීම ගැන පසුගිය 04 වැනිදා රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී නොමැත.

සජිත් පාර්ශ්වය සහ රනිල් පාර්ශ්වය අතර අත්සන් කිරීමට යෝජිත මෙම ගිවිසුම මලික් සමරවික්‍රම හිටපු මන්ත්‍රීවරයා විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් එජාප ආරංචි මාර්ග අනුව සමගි ජන බලවේගය සන්ධානය සඳහා හංසයා ලකුණ ලබාදීමට නම් එම සන්ධානයේ නියෝජ්‍ය නායක ධුරය රවි කරුණානායක මහතාට ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙන බවද වාර්තා විය. එසේම ලේකම් ධූරය ද තමන්ට අවශ්‍ය බවත් දැනුම් දී තිබිණි. ජනාධිපති අපේක්ෂකත්වයෙන් පටන් ගැනුණු එක්සත් ජාතික පක්ෂයේ අරබුදය තවමත් විසඳී නොමැති බැවින් බොහෝදුරට එජාපය දෙකඩ වී එළඹෙන මහ මැතිවරණයට තරග කරනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

එජාප නායකතුමාටත් අප සමඟ එක්වෙන්න පුළුවන්
සුජීව සේනසිංහ - එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී

සමගි ජන බලවේගය සන්ධානය මේ වෙනකොට එළිදක්වලා තිබෙනවා. විශාල මන්ත්‍රීවරැන් පිරිසක් ඒ සඳහා එකතුවුණා. ඒ වගේම එජාප නායකතුමාටත් මහ ලේකම්වරයාටත් අපිත් සමඟ එකතුවෙන්න පුළුවන් ඕනෑම අවස්ථාවකදී. ඒ වගේම තමයි බොහෝ දෙනා මේ ලකුණු පිළිබඳ විමසා සිටිනවා. නිල වශයෙන්ම අපි ඉදිරිපත් වන ලාංඡනය මේ වනවිට තීරණය කර නැතත් ඉක්මනට අපි නාමයෝජනා දෙන්න පෙර ඒ පිළිබඳ දැනුම් දෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රුස්වීම්වලට මීට පසු බොහෝදුරට අපි එක්වන්නේ නැහැ. ඉස්සරහට තියපු අඩිය අපි පස්සට ගන්නේ නැහැ.

වෙන ලකුණු පස්සේ යන්න කාලයක් නෑ
ලක්ෂ්මන් විජයමාන්න - කළුතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී

අද එජාපය මේ අලියා ලකුණ එපා කියනවා ඇතැම් පිරිස්. මෙතැනදී ප්‍රශ්නයක් තිබෙන බව පේන්න තියෙනවා. මොකද සජිත් ප්‍රේමදාස මහතා නොමඟ අරිනවා ඔහුගේ ළඟම පිරිසක්. අපි කිව්වා එක්කෝ අලියා තෝරාගන්න නැත්නම් හංසාය තෝරාගන්න කියලා. දැන් ඔය වෙන වෙන ලකුණු පස්සේ යන්න කාලයක් නැහැ. මොකද අලුත් ලාංඡන සමාජගත කරන්න අමාරුයි. මේ තත්ත්වය වළක්වා ගැනීමට නොහැකි වුණොත් අපි එජාපයෙන් කණ්ඩායමක් ඉදිරිපත් කරනවා.

 හසිත් අංජන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03